අඳුරට සාප නොකර පහනක් දල්වමු


හැම තැනක ම ඇත්තේ නෑ බෑ කියන අඳෝනාම ය. මා කල්පනා කළේ අඳුරට ම සාප කර කර ඉන්නවා වෙනුවට පහනක් දල්වන්නට ය.

ගෑස් නැති වුනහම පොසිටිව් මිනිස්සු බැණ බැණ නොඉඳ දර ලිපට යොමු වූවෝය. හෙට අනිද්දා ඩීසල් පැට්‍රල් නැතිවුනොත් “මයි ඩීසල්, මයි පැට්‍රොල්” කියා ආඩම්බර පාන්නට අපට බැරි වන්නේ ය. ඒ නිසා ඒ සඳහා ද පිළියමක් අප සොයා ගත යුතු ය. මා සිතුවේ තවම කවුරුවත් කල්පනා කර නැති ඒ වැඩේට අත තබන්නට ය.

ප්‍රශ්න වලට විසඳුම් සොයන මට ඒ සඳහා මතක් වෙන්නේ ම අපේ මුතුන් මිත්තන් ය. වැටී ඇති අර්බුදය හමුවේ අම්මා අප්පා පමණක් නොව මුත්තා කිරිකිත්තා සිහි වීම ද වළක්වනූ නොහැකි ය. මුලින් ම මා කල්පාන කළේ බක්කි කරත්තයක් මොඩිෆයි කර ගැනීමට ය. එයට නවීන මුහුණුවරක් දුන්නහම ආකර්ෂණීය වාහනයක් සාදා ගන්නට බැරි වන එකක් නැත. සුද්දා නොඑන්නට අපේ උන් ඔය බක්කි කරත්තය මොඩිෆයි කර ගන්නවා නොවේ දැයි ද මට සිතුනේ ය. උන් ඇවිත් අපේ දියුණුවට පොලු නොදමන්නට අද අපි කොතැනක නතර වෙනු ඇද් ද? එහෙම එකේ දැන් බැරි වන්නට හේතුවක් නැත. මේ උදා වී ඇත්තේ ඒ සඳහා අවස්ථාවකි. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කියා තිබෙන්නේ නිකම් ම නොවේ.

පරහකට සිටිය හැක්කේ හරකුන් ය. කොහොමටත් හරක් එක්ක මෙලෝ වැඩක් හරියට කරන්නට බැරි ය. එහෙම කිව්වා වුනාට හොඳට සිතුවොත් පෙනෙන්නේ වඩාත් ලෙහෙසි උන් එක්ක වැඩ කිරීම බව ය. රටතොට බලන විට එහෙම පේන්නේ නැත්නම් ඒ නොපෙනෙන එකාගේ ඇස් අන්ධ විය යුතු ය.

මරණයෙන් නිදහස් කරන හරකෙකුට කිට්ටු කළොත් ඒ වැඩේ නොමිලේ ම කර ගත හැකි ය. හරක් මැරීම තහනම් කරන නියෝග එක රටක් එක නීතියක් හදන්නට බාර දී ඇති කාර්යය සාධන බලකායට මුලිච්ච් වන්නට පෙර වැඩේට බැසිය යුතු ය. නැත්නම් එහෙම නිදහස් කරන අදහස් නැති විය හැකි නිසා ය.

කරත්තයට ලී රෝද වෙනුවට නවීන පන්නයේ රෝද දෙකක් සවි කර ගත හැකි ය. එසේ කළ විට නව පෙනුමක් පමණක් නොව කාර්යක්ෂමතාවයක් ද අත් පත් කර ගත හැකි ය. මේ දවස්වල අමතර කොටස් නැතිව කොට උඩ තබා තිබෙන වාහනයක අයිතිතරුවෙකුගෙන් ලාබෙට රෝද කට්ටකලයක් ගත හැකි ය. අවශ්‍ය නම් බොඩියක් ද ලාබෙට ඉල්ලා ගත හැකි ය.

එක ම ප්‍රශ්නයකට ඉතිරි වන්නේ හරකාට කන්න දෙන්නේ මොනවා ද යන්න ය. පුනක්කු පවා රටින් ගෙන්වන නිසා නැති වී යා හැකි ය. පිදුරු පවා කාබනික පොහොර වලට යොදා ගන්නා නිසා නැති වී යන්නට පුළුවන. අප දත් මිටි කාලා හිටියාට හරකුන් එහෙම ඉන්නවාදැයි ෂුවර් නැත.

රටේ නායකයින් කියන නිසා අපට නම් තුන්වේල වෙනුවට වේල් දෙකක් කා (කෑවා නොකෑවා) සිටිය හැකි ය. එහෙත් හරකුන්ට ඒ බව හගිස්සවන්නට අමාරු ය. උන්ට වචන තේරෙන්නේ නැත. වචනත් එක්ක අප කරන සෙල්ලම් තේරෙන්නේ ද නැත. අපට බොරු කළාට ගොයම් ගහට බොරු කරන්නට බෑ කීවේ පොහොර නැතිව ලත වෙන ගොවියෙකි. ඒ නිසා හරකාගේ ආහාර ප්‍රශ්නය නම් කෙසේ හෝ විසඳිය යුතු ය.

මට රාවණා මතක් වුනේ ඒ ගැන දස අතේ කල්පනා කරමින් සිටින විට ය. කරත්ත මොකට ද කෙළින්ම දඩු මොනරයක් හදා ගත හැකි නොවේ ද?

රාවණාගේ දඩු මොනරයේ ඩිසයින් එක දැන් හොයා ගන්නට බැරි ය. ගුරු මුෂ්ටිය තියා ගත්තා මිසක ඒවා ඊළග පරම්පරාවට දායාද කරන්නට ඔ්නෑ කමක් ‍‍‍‍අපේ පැරැන්නන්ට තිබුනේ නැත. ඉතින් ඒ නිසා දඩු මොනරය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි ය.

කෙළින් ම මොනරෙක් යොදා ගන්නට බැරි වෙයි ද? මොනරු බෝවී ඇතැයි අඳෝනාවක් මා ඇසූයේ ඊයේ පෙරේදා ය. එකෙක් සෙට් කර ගන්නට බැරි වෙයි ද? කතරගම දෙවියනුත් පාවිච්ච් කරන නිසා ඒ වාහනයේ එහෙම අප්සෙට් එකක් තිබෙන්නට බැරි ය. ප්‍රශ්නයකට ඇත්තේ තමන්ගේ වාහනය අවසේස මිනිසුන් ද භාවිතා කරන්නට ගත්තේ යැයි කියා දෙවියන් උරණ විය හැකි වීම ය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා මගේ මතකයට ආවේ ‍ඒ ගැන බියෙන් සැකෙන් සිටින විට ය. එතුමාට කියා නාථ දේව මණ්ඩලය රැස් කර කතරගම දෙවියන්ට පොඩි බලපෑමක් කර ෂේප් එකක් දා ගන්නට බැරි වෙන එකක් නැත.

මා නින්දෙන් ඇහැරුණේ ඒ සොඳුරු බලාපොරොත්තුව ඇතුව ය.

Comments